Saturday, March 21, 2015

කොළඹ කෝළම




සෙනසුරාදා නිවාඩු දවසක් වු නිසාවෙන්ම,  හිතේ මතුවෙමින් තිබූ තනිකම මකාලන්නට දියවනාවට ආවා.දේව කාරියක්ව තිබූ රාජකාරිය හමාරකල ඉර එලිය සුවිසැල් ගොඩනැගිලි අතරින් සැඟවෙමින් සිටියා. නැනෝ ලයිට් එලි ගං දියේ පිහිනමින් දියවී ගියා. ගෙන්දගම් පොලවේ සල්ෆර් සුවඳ මකාලන්නට දැමූ සමන් පිච්ච මල් වගේ සුවඳවල් හැමතනකම වගේ තිබුනා.රෝස පියරු උනා එම්බාම් කල මැදිවියේ මූනුත් අතරින් පතර හිස්තැන් මැකුවා.

සොබාදහමේ සුන්දරතවය රුපියලට විකිනෙන මල් කඩ ඇතුලේ  ගමෙන් ආව මොඩර්න් වෙච්ච කොළඹ නෝනලත් එක්ක,  ෂොපින් (ආ)ප්‍රිය කරන තලත්තෑනි මහත්තුන්ගේ සිනාවල් මල් එක්කම පරවෙමින් තිබුනා.

තන පිඩලිත් එක්කම කොන්ක්රීට් කල වීදි දිගේ, තරාතිමත් මෝස්තරෙත් පෙන්නන්න ගිලපු තෙල් තට්ටු වලට තට්ටුකරන තරබාරු නොනල්, මහත්තුරුත් එක්කම මහත ලමා ලපටිනුත් හති හලමින් එහෙට මෙහෙට අවිදිමින් හිටියා.

රැලි නගන ගං දියේ සෝබනේට පාවෙන පුන්චි පහේ රුවල් ඔරුවක් එහෙට මෙහෙට දියමතුපිට ඇදෙමින් තිබුනා.අරුමෝසම් සුළගත් එක්ක හාදවුන කුරුලු රැන් ගං දියට උඩින් පියබා ගියා. වාහන, එක පේලියට වාහන තදබදය නිසාම තමන්ගෙ වාරය එනකම්ම නලා නාදකරම්න් රතගාලට සේන්දුවෙමින් තිබුනා.

දාරක ප්‍රේමයෙන් වෙලුන පෙමවතුන් පුන්චි පුන්චි දේවල් වලට බොරුවට රන්ඩුකරන ප්‍රේමවන්තයන්ගෙනුත් අඩුවක් නම් වුනේ නෑ. මේ හැම දෙයක් අතුලෙම මගුල් නටන මංගල ජෝඩු, ඡායා රූප, වීඩියෝ ශිල්පීන් පෙරලි පෙරලි, ශිල්ප දක්වමින් ඊලඟ මගුල් ඔඩරය ගන්න ඔවුන්වම මාකටින් කරමින් හිටියා. පරිසරයත් එක්ක එකාත්මික වෙන්න කියල හිතාගෙන මම සීරුවෙන් පාද තබමින් ඉදිරියයට ඇදුනත්, පරිසරයට වඩා කොළඹ කෝළම ප්‍රිය ජනක වුනා.

1 comment: